Tuesday, 30 July 2024

ජනමාධ්‍ය හඳුනා ගැනීම

 

අදෘශ්‍ය මානව වෙසෙන පිරිසකට කිසියම් මාධ්‍යයකින් අමතන්නේ නම් එහි ජන මාධ්‍ය වේ.

 ජනමාධ්‍ය ලෙස අර්ථකථනය කරන්නේ පුළුල් ප්‍රදේශයක විසිරී පවතින බහුවිධ අදෘශ්‍ය ග්‍රාහක කොට්ඨාසයකට ආමන්ත්‍රණය කරනු ලබන මාධ්‍ය වේ.

ජනමාධ්‍යයේ ලක්ෂණ 

  • ·       වෘත්තීය සන්නිවේදකයන් සිටි
  • ·       දොරටුපාලකයින් ගණනාවක් ඇත
  • ·       තාක්ෂණික හා අඛන්ඩ
  • ·       ප්‍රමාදිත ප්‍රතිපෝෂණය
  • ·       සංවිධානගත ආයතනික ව්‍යුහය
  • ·       තාක්ෂණික උපකරණ භාවිතය
  • ·       විශම ජාතිය ග්‍රාහකයින් පිරිසක්
  • ·       බොහෝ විට ලාභය මුල් කර ගනි.

 

ඉංග්‍රීසියෙන් ජනමාධ්‍ය හඳුන්වන්නේ  මාස් මීඩියා යනුවෙනි. මාස් යන ඉංග්‍රීසි වචනයේ අර්ථය වන්නේ අතිවිශාල ජනකායේ යන්න ය. එයින් අදහස්  වන්නේ  අතිවිශාල ජනකායක් එකවර ආමන්ත්‍රණය කරන මාධ්‍යයක් වේද ඒ ඕනෑම මාධ්‍යයක් ජනමාධ්‍යයක් ලෙසින් හැඳින්වෙන බවයි. ඒ අනුව පුවත්පත, වාර සඟරා, ගුවන් විදුලිය හා රූපවාහිනිය යන මාධ්‍යයන් ජනමාධ්‍ය ගණයට අයත් වේ.

මෙම ජනමාධ්‍යයෙන් දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ වෘත්තීය සන්නිවේදකයින්ගේ දායකත්වය ලබා ගැනීමයි. ජනමාධ්‍ය තුළ සන්නිවේදන කටයුතු සැලසුම් කරන්නේ වෘත්තීය සන්නිවේදකයින් විසිනි. එනම් ප්‍රවෘත්ති හඳුනා ගැනීමේ හැකියාව ඇති ප්‍රවෘත්ති ඉවත් කිරීමේ ඉවක් තිබෙන වෘත්තීය සන්නිවේදකයින් ජනමාධය තුළ දක්නට ලැබේ. ඔවුන් ජනමාධ්‍යයේ භාෂා භාවිතය නිර්මාණශීලීව සංදේශයන් සැකසීම, තාක්ෂණික මෙවලම් හැසිරවීම යන ආදි හැකියාවන් වෘත්තීමය වශයෙන් පුරුදු පුහුණු කළ වෘත්තීය සන්නිවේදකයින් වේ. මෙවැනි වෘත්තීය සන්නිවේදකයින් දක්නට ලැබීම ජනමාධ්‍ය ලක්ෂණයකි. ඔවුන් ජනමාධ්‍යකරුවන් හා ජනමාධ්‍යවේදින් ලෙස වර්ග කළ හැකිය.

ජනමාධයේ තවත් ලක්ෂණයක් වන්නේ දොරටුපාලකයින් ගණනාවක් දක්නට ලැබීමයි. ජනමාධ්‍ය මගින් පණිවිඩ ග්‍රාහක ගත කරන්නේ ඒවායේ කොටස් සීමා කරමින් පුළුල් කරමින් හා විකෘති කරමින්ය. මේ නිසා ජනමාධ්‍ය තුළ දොරටුපාලක සංකල්පය නමින් නව සංකල්පයක් ක්‍රියාත්මක වන බව කාර්ට් ලෙවින් පෙන්වා දී ඇත. ඒ අනුව මෙම දොරටුපාලක ක්‍රියාවලියට දායක වන පුද්ගලයින් ගණනාවක් එහිදී දැකගත හැකිය. ප්‍රධාන කර්තෘ, උපසංස්කාරක, සංස්කාරක, වාර්තාකරුවන්, නිෂ්පාදකවරයා, අධ්‍යක්ෂවරයා, හිමිකරුවන් යන ආදී සියලු දෙනා දොරටු පාලක කාර්යයට සම්බන්ධ වන පුද්ගලයින්වේ. දොරටු පාලකයින් ගණනාවක් දක්නට ලැබීම ජනමාධ්‍ය ලක්ෂණයකි.

ජනමාධ්‍යයේ තවත් ලක්ෂණයක් වන්නේ ක්ෂණික හා අඛණ්ඩ බවයි. අදෘශ්‍යමාන සෑම තැනකම විසිරී පැතිරී සිටින කල්පිත අති විශාල ග්‍රාහක පිරිසක් දක්නට ලැබුණත් එම ග්‍රාහක පිරිසට එකවර හා ක්ෂණිකව පණිවිඩ ලබාදීමේ හැකියාව ජනමාධ්‍ය සතුවේ. එමෙන්ම තාක්ෂණික මෙවලම් ආධාරයෙන් ක්‍රියාත්මක වන නිසා අඛණ්ඩව පණිවිඩ ලබාදීමේ හැකියාවද ජන මාධ්‍ය සතුවේ. ජනමාධ්‍ය සමත් වන්නේ එක් අන්තයක සිට තවත් අන්තයකට පණිවිඩ රැගෙන යාමට පමණි. මේ නිසාත් ද්වි මාර්ගික සන්නිවේදනයක් සඳහා ජනමාධ්‍ය යොදා ගත නොහැකිය. මේ නිසා ජනමාධ්‍ය මගින්ද ලබා ගත් ග්‍රාහකයාට ප්‍රතිචාර දැක්වීමට නම් විකල්ප ක්‍රම යොදා ගැනීමට සිදුවේ. ලිපි මගින් පෝස්කාඩ්, දුරකථන මාර්ගයෙන් ප්‍රතිචාර දැක්වීමට සිදුවෙයි. මේ නිසා ග්‍රාහක ප්‍රතිචාර හා ප්‍රතිපෝෂණය ප්‍රමාද වී ගමන් කරයි. මේ නිසා ප්‍රමාදිත ප්‍රතිපෝෂණය ජනමාධයට ආවේණික ලක්‍ෂණයකි.

ජනමාධ්‍යයේ කාර්යභාර්ය ගත් විට සාමාන්‍ය සන්නිවේදන කාර්යන් අතර ජනසන්නිවේදනයේදී ඉෂ්ට කරයි. ඒවා නම් අධ්‍යාපනය ලබාදීම, තොරතුරු සම්පාදනය, පෙළඹවීම හා විනෝදාස්වාදය ලබාදීමයි. මෙහිදී ජනමාධ්‍ය සමාජ පරිවර්තනය සඳහා අවශ්‍ය නව තාක්ෂණය නව දැනුම නව ආකල්ප සමාජගත කරන අතර සමාජ භූමිකාවන් නිවැරදි කිරීමට අවශ්‍ය නව චින්තනයන් ගොඩනංවාලීමද හඳුනාගත හැකිය. ජනසන්නිවේදනයට විශේෂිත  කාර්යයන් කිහිපයක් ද වේ.

  • ·       සහසම්බන්ධතා ගොඩනැගීම
  • ·       අර්ථකථනය
  • ·       සුපරීක්ෂණය
  • ·       සමාජනුයෝජනය

ඒ අනුව ජනමාධ්‍ය යනු කුමක්ද යන්න මෙයින් හඳුනාගත හැකියි.


Friday, 22 December 2023

ශ්‍රී ලංකාවට සන්නිවේදනය විෂය හඳුන්වා දීම

 

සන්නිවේදන විෂය ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හඳුන්වාදීම සිදුවන්නේ දෙහිවල කනිෂ්ඨ විශ්ව විද්‍යාලය මූලික වීමෙනි. වර්ෂ 1968 සිට 1969 අතර කාලයේදී පුවත්පත් කලාවේදය නමින් එහි පාඨමාලාවක් හඳුන්වා දෙන ලදී.

පුවත්පත් කලාවේදය නම් වූ එම පාඨමාලාව සඳහා විෂය නිර්දේශය සකස් කරනු ලැබූවේ ආචාර්ය එඩ්වීන් ආරියදාස විසිනි.එම පාඨමාලාව වසර දෙකකින් පසු අවලංගු වී ඇත.මේ සඳහා එවක අධ්‍යාපන ඇමැති ධූරය දැරූ අයි.එම්.ආර්. ඒ ඊරියගොල්ල මහතා මූලිකත්වය ගැන කටයුතු කළේ ය.

1978 කැරැල්ලෙන් පසු විශ්ව විද්‍යාලයේ සඳහා වෘත්තීය අභිමුඛ පාඨමාලාව හඳුන්වාදීමේ දී සන්නිවේදනය විෂය විශ්ව විද්‍යාල පද්ධතියට හඳුන්වා දී ඇත. ඒ අනුව 1973 වසරේ දී  කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදනය අධ්‍යයන අංශය යනුවෙන් නව අධ්‍යයන අංශයක් ප්‍රථම වරට ආරම්භ කරන ලදී. මේ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත්කරන ලද මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය එම්.බී ආරියපාල මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර,ආචාර්ය එඩ්වින් ආරියදාස සහ ඩී.සී රණතුංග ඇතුළත් විද්වත් කමිටුව ප්‍රමුඛත්වය ගන්නා ලදී. මහාචාර්ය විමල් දිසානායක සහ සුනන්ද මහේන්ද්‍ර විෂය ඉගැන්වූ ප්‍රථම කථිකාචාර්යවරු වූහ. බාහිර කථිකාචාර්යවරු ලෙස ආචාර්ය එඩ්වින් ආරියදාස ආචාර්ය පියසෝම මෙන්දිස්, ඩී.බී නිහාල් සිංහ, මහගමසේකර, අමරදේව, ඩීසී රණතුංග යන මහත්වරු කටයුතු කළහ. මෙයට සමගාමීව 1972 වසරේදී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේද පුවත්පත් කලාව යනුවෙන් ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කර ඇත. වසරකින් පමණ පසු එම පාඨමාලාව නවතා දමා ඇත. එමෙන්ම හැටේ දශකයේ ලංකාවේ පැවති ලංකා ගුවන්විදුලි සේවය මගින් හා ලේක් හවුස් ආයතනය මගින් වෘත්තීය මාධ්‍යවේදීන් සඳහා පුහුණු පාඨමාලා පවත්වා ඇත. වර්තමානය වන විට සන්නිවේදන විෂය පිළිබඳ විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ශ්‍රීපාලි මණ්ඩපය, නැගෙනහිර විශ්ව විද්‍යාලය සහ යාපනයේ විශ්ව විද්‍යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබයි. කොළඹ රජරට හා විවෘත විශ්වවිද්‍යාල සන්නිවේදනය පිළිබඳ සාමාන්‍ය ශාස්ත්‍රවේදී පාඨමාලා ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්ව විද්‍යාල රැසක ව්‍යාප්තව තිබෙන මෙම විෂය සහතික පත්‍ර, ඩිප්ලෝමා සාමාන්‍ය උපාධි, විශේෂ උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා දක්වා අධ්‍යයනය කළ හැකි පාඨමාලා ලෙස ඉතා සංවර්ධිත මට්ටමකට පැමිණ තිබේ.

1982 දී යුනෙස්කෝ සංවිධානය විසින් ගෘන්වල්ට් ප්‍රකාශය මගින්  එළිදක්වමින් පාසලේ ප්‍රාථමික ශ්‍රේණියේ සිට උසස් අධ්‍යාපනයෙහිත් වැඩිහිටි අධ්‍යාපනයෙහිත් මාධ්‍ය ක්‍ෂේත්‍ර මාධ්‍ය අධ්‍යාපනය ලබා දිය යුතු බවට කරන ලද නිර්දේශ අනුව යමින් ශ්‍රී ලංකාවේ 2006 වසරේ දී සිට පාසල් මට්ටමින්ද සන්නිවේදන විෂය හඳුන්වා දෙන ලදී. 2006 වර්ෂයේදී ප්‍රථම වරට දහවන ශ්‍රේණියටත් 2010 වර්ෂයේ දී එකොළොස් වන ශ්‍රේණියටත් අතිරේක විෂයක් ලෙස සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය යනුවෙන් හඳුන්වා දෙන ලදී. 2008 වර්ෂයේ දී උසස් පෙළ කලා විෂය ධාරාවට ද සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය හඳුන්වා දෙන ලදී. සන්නිවේදන විෂය සෑම වෘත්තියක් සඳහාම අත්‍යවශ්‍ය වී ඇත. එබැවින් ඒ පිළිබඳ හැදෑරීම හා ප්‍රගුණ කිරීම වර්තමානයේ දී ඉතා වැදගත් හා ප්‍රයෝජනවත් වේ.

Friday, 15 December 2023

සන්නිවේදන අධ්‍යයනයෙහි ආරම්භය හා විකාශය

 

සන්නිවේදනය අත්‍යවශ්‍ය මානවීය ක්‍රියාවලියකි.පුද්ගල අන්තර් සම්බන්ධතා ගොඩනඟා ගැනීම සඳහා සෑම පුද්ගලයකුටම සන්නිවේදනය අත්‍යවශ්‍ය වේ.සන්නිවේදනය යන්නෙහි සරල අර්ථය වන්නේ හැඟීම් දැනීම් අදහස් සහ දැනුම යනාදිය හුවමාරු කර ගැනීමයි. ප්‍රාථමික සමාජ වල විසූ මිනිසුන් විවිධ ශබ්ද සංඥා, සංකේත භාවිතයෙන් කළ සරල අදහස් හුවමාරුවේ සිට වර්තමානය වන විට ජනමාධ්‍ය හා අංකිත සන්නිවේදන තාක්ෂණ මෙවලම් හරහා සිදු කරනු ලබන තොරතුරු හුවමාරුව දක්වා සන්නිවේදන ක්ෂේත්‍රය පුළුල් වී ඇත.නූතනයේ විශ්වය එකම පවුලක් වන තරමට මානව අන්තර් සම්බන්ධතා සමීප කර වීමට සන්නිවේදනය හේතු වී තිබේ.සන්නිවේදනය ශික්‍ෂණයක් හා අධ්‍යයන මාර්ගයක් ලෙස වර්ධනය වීමේ ඉතිහාසය ඒ හා සාපේක්ෂව කුඩා ය .සන්නිවේදන අධ්‍යයනය කෙරෙහි බල පෑ විවිධ හේතු සාධක කීපයක් පහත පරිදි හඳුනා ගත හැක.

  • ·        දහනව වන සියවසේ දී ලෝක පරිණාමයෙන් බලපෑම් කළ විද්වතුන්ගේ ඉගැන්වීම්
  • ·        සන්නිවේදන තාක්ෂණයේ සිදුවූ සීග්‍ර දියුණුව
  • ·        ජනමාධ්‍ය බිහිවීම වර්ධනය හා ව්‍යාප්තිය
  • ·        ජනමාධ්‍ය සමාජය කෙරෙහි කරනු ලබන බලපෑම   

සන්නිවේදන විෂය සන්නිවේදන අධ්‍යයනය නමින් ස්වාධීන විෂය ක්ෂේත්‍රයක් ලෙස හැඳින්වීමට පෙර එය ප්‍රධාන විෂය තුනක් වන මනෝවිද්‍යාව සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාව යන ශික්ෂණවේදයන්හි අන්තර්ගත විය.ඒ අනුව සමාජ විද්‍යා විෂය ක්ෂේත්‍රයේ  චාල්ස් හෝටන්කූලී දේශපාලන විද්‍යා විශය ක්ෂේත්‍රයේ  වෝල්ටර් ලිප්මන් අධ්‍යාපන විද්‍යා විශය ක්ෂේත්‍රයේ ජොන් ඩුවී යන විද්වතුන්ගේ අදහස් සහ පර්යේෂණ අධ්‍යන විසින් සන්නිවේදන අධ්‍යයනයේ ශාස්ත්‍රීය විෂයක් ලෙස වර්තමාන තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පදනම සකස් කරනු ලැබිණි.

සන්නිවේදන අධ්‍යයනය ශාස්ත්‍රීය විෂයක් ලෙස ස්ථාපනය වීම යුරෝපීය සහ ඇමරිකානු විද්වතුන් රසකගේ පුරෝගාමීත්වයෙන් ඇමෙරිකාව කේන්ද්‍ර කර ගනිමින් සිදුව ඇත සන්නිවේදන අධ්‍යයනය තවදුරටත් වෙනත් විෂයයන්හි අන්තර්ගත වූ විෂයක් ලෙස නොව ස්වාධීන විශේෂේත්‍රයක් ලෙස වර්ධනය වීම සිදු විය.

1933 සිට  1845 පමණ දක්වා ජර්මනියේ ක්‍රියාත්මක වූ ඇඩෝල් ෆිට්ලර්ගේ ඒකාධිපති පාලනය යටතේ එරට විශ්ව විද්‍යාලවලින් පිට මං කරනු ලැබූ විද්වතුන් විශාල ප්‍රමාණයක් ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූහ ඔවුහු ඇමෙරිකානු විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් සන්නිවේදන ක්ෂේත්‍රය පිළිබඳ විවිධ ශාස්ත්‍රීය අධ්‍යයනයන්හි නිරත වූහ.1940 දශකයේ දී මහාචාර්ය විල්බර් ශ්‍රාම් විසින් සන්නිවේදන අධ්‍යයනය ශාස්ත්‍රීය විෂය ක්ෂේත්‍රයක් ලෙස ආයතන ගත කිරීමට පියවර ගන්නා ලදී. ඒ අතර ජනමාධ්‍ය පාසල් සන්නිවේදන පර්යේෂණ ආයතන ස්ථාපිත කිරීම හා විශ්ව විද්‍යාල සඳහා නව අධ්‍යයන අංශ ආරම්භ කිරීම පෙන්වා දිය හැකිය.

1960 දශකයේ මුල් භාගයේදී සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාව මනෝවිද්‍යාව සහ ඉංග්‍රීසි භාෂාව ආදී ක්ෂේත්‍රය තුළ අන්තර්ගතව තිබූ සන්නිවේදන අධ්‍යයනය ස්වාධීන විශේෂයක් ලෙස වෙනවම අධ්‍යයනය කිරීම ආරම්භ විය.

ඒ අනුව සන්නිවේදන අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වන්නේ මානව අත්දැකීම් වල කේන්ද්‍රීය සාධකය ලෙස සන්නිවේදනය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ හැදෑරීමය.

ඒ අනුව සන්නිවේදන විෂය සජීවී මෙන්ම සක්‍රීය විෂය ක්ෂේත්‍රයකි ක්ෂේත්‍රයකි සන්නිවේදන තාක්ෂණයේ නැගීමත් සමඟ සමඟ අතීතයේ සිට එය වර්ධනය වී ඇත.

Wednesday, 13 September 2023

සන්නිවේදනය යනු,



 

    ඉතා සරල ලෙස කිවහොත් සන්නිවේදනය යනු දෙපාර්ශ්වයක් අතර අදහස් හුවමාරු කර ගැනීමයි. අදහස් ඇති වන්නේ සිතෙහිය. ඒ නිසා සන්නිවේදනයේ ආරම්භය වන්නේ සිතෙහිය. අදහස් ජනිත වන්නේ හැඟීම් හා සිතිවිලි නිසාය. හුවමාරු කිරීම යන්නෙන් කාර්යයන් දෙකක් දැක්වේ. එකක් නම් දීමයි. අනෙක නම් ගැනීමයි. ඒ අනුව සන්නිව්දනය සදහා දෙපාර්ශවයක් අවශ්‍ය බව පැහැදිලිය.  එක් පාර්ශ්වයක් විසින් සන්නිවේදනය කරනු ලබන අතර, අනෙක් පාර්ශ්වය විසින් එය ග‍්‍රහණය කරනු ලබයි. මෙම ද්විත්ව ක‍්‍රියාවලිය එක් පුද්ගලයකු තුළ වුවද සිදු විය හැකිය.
    උදා:     1. මව හා දරුවා කතා කරයි. 
        2. ගුරුවරයා පන්තියේ උගන්වයි.

සන්නිවේදනය යනු කුමක්දැයි නිර්වචන ඇසුරින් හදුනා ගැනීම
1 හැරල්ඩ් ඩී ලැස්වෙල්ට අනුව සන්නිවේදනය යනු,

 යම් කිසිවෙකු, යම් කිසිවක්, කිසියම් නාලිකාවකින්, යම් කිසිවෙකුට, කිසියම් බලපෑමක් කිරීම සදහා ප්‍රකාශ කිරීමයි.

යම් කිසිවෙකු - සන්නිවේදකයා/පණිවිඩය යවන්නා
යම් කිසියක් - පණිවිඩය /සන්දේශය
කිසියම් නාලිකාවකින් - නාලිකාව/මාධ්‍ය
යම් කිසිවෙකුට - ග්‍රාහකයා/ පණිවිඩය ලබන්නා
කිසියම් බලපෑමක් සදහා - බලපෑම/වෙනස/පෙළඹවීම

මේ අනුව හැරල්ඩ් ඩී ලැස්වෙල්ගේ අදහස වන්නේ කවුරු හෝ පුද්ගලයෙක්,තමන් තුළ ඇති කරගත් අදහසක්,මතයක්,යෝජනාවක් කුමන හෝ ප්‍රකාශන ක්‍රමවේදයක් යොදාගෙන යම් පුද්ගලයෙකු තම මතයට එකග කර ගැනීමට ගන්නාවූ උත්සාහය සන්නිවේදනය වන බවයි.

2 විල්බර් ශ්‍රාම්ට අනුව සන්නිවේදනය යනු,

තොරතුරු ගැබ් වූ සංඥාවක් හේතුකොටගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන චිත්ත තත්ත්වයක් ඇති කරලීමයි
මෙහි සදහන් තොරතුරු යන්නෙන් අදහස් වන්නේ සංදේශය හෙවත් පණිවිඩයයි. පණිවිඩයක් තුළ ඇත්තේ තොරතුරුය.තොරතුරු ඇතුලත් සන්දේශයක් සැකසීම සදහා සංඥා යොදා ගැනීම අනිවාර්ය වේ. අකුරු,චිත්‍ර,ශබ්ද,රූප, ඉගි බිගි, කේත හෙවත් සංකේත වේ.
මේ අනුව සංඥා මගින් ප්‍රකාශිත තොරතුරු හේතුවෙන් දෙපිරිසක් එක ම මතයකට, අදහසකට පැමිණෙන්නේ නම් එය සන්නිවේදනය වන බවයි ශ්‍රාම්ගේ මතය වන්නේ


3 ෂැනන් හා වීවර් ට අනුව සන්නිවේදනය යනු,

යම් තැනකදී නිර්මාණය කරගත් හෝ තෝරාගත් පණිවිඩයක් ඒ ආකාරයෙන් ම හෝ සමාන ලෙස තවත් තැනක ප්‍රති නිර්මාණය කිරීමයි.
යම් ස්ථානයකින් නිකුත් කරන ලද කිසියම් සන්දේශයක් තවත් තැනක සනිටුහන් වීමේදී මුලින් නිකුත් කල පරිදි ම සනිටුහන් විය යුතු බවයි මෙහි අදහස වන්නේ. මූලික පණිවිඩය වෙනසකට ලක්වීම සන්නිවේදනය නොවන බවයි මොවුන්ගේ අදහස වන්නේ

4 චාල්ස් එච් කූලීට අනුව සන්නිවේදනය යනු,

 මානව සම්බන්ධතා රදවා සිටින්නාවූත්, වර්ධනය කර ගන්නාවූත්, සියළු සංකේත මෙන් ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහණය කිරීමටත්,කාලයේ බැදීම් වලින් ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීමටත් උපකාරී වන උපක්‍රමයි.
මානව සම්බන්ධතා ආරක්ෂා කරගැමටත්, එවැනි සහසම්බන්ධතා තව තවත් දියුණු මට්ටමකට රැගෙන යාමටත්,සන්නිවේදනය උදව් කරන බව මෙමගින් ප්‍රකාශ කරයි.
එක් රටක විවිධ ක්ෂේත්‍රයන් හා සම්බන්ධ තොරතුරු තවත් රටකට රැගෙන යාමටත්, කාලය ගෙවී ගිය ද එම කාලයේ සිදුවීම්, තොරතුරු ආරක්ෂාකර ගැනීමටත් සන්නිවේදනය ප්‍රයෝජනවත් වන බව කූලීගේ සන්නිවේදනය යන්නට ලබාදෙන විග්‍රහයයි.

5 ඔක්ස්ෆර්ඩ් ශබ්දකොෂයට අනුව සන්නිවේදනය යනු,

 අදහස්, දැණුම, යනාදිය භාෂණය හෝ ලේඛනය හෝ සංඥා මගින් ප්‍රදානය කිරීම හෝ හුවමාරු කර ගැනීමයි.(1990)
මිනිසුන් තුළ පවත්නා විවිධ යෝජනා අදහස් සේම ඔවුන් තුළ එක්රැස්කරගෙන ඇති විවිධ ක්කේෂ්ත්‍ර වලට අදාළ දැනුම, කතාබහ කිරීම හරහා හෝ ලේඛනය යොදාගෙන සහ එකිනෙකට වෙනස් වූ සංකේත භාවිතයෙන් තවත් පිරිසක් වෙත ලබාදීම සන්නිවේදනය වන බවයි.








ජනමාධ්‍ය හඳුනා ගැනීම

  “ අදෘශ්‍ය මානව වෙසෙන පිරිසකට කිසියම් මාධ්‍යයකින් අමතන්නේ නම් එහි ජන මාධ්‍ය වේ. ”   “ ජනමාධ්‍ය ලෙස අර්ථකථනය කරන්නේ පුළුල් ප්‍රදේශයක විසිර...